
ප්‍රශාන්ත ඇල්පිටිය
නැවත වතාවක් මෙරට රග්බි ක්‍රීඩාවේ රජුන් තමන් බව සනාථ කරමින් වාර්තාගත 18 වැනි වරටත් ඩයලොග් ලීග් රග්බි ශූරතාවලියේ 'ඒ' කොටසේ ශූරතාව හිමිකර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය පසුගියදා සමත් විය.
ඔවුන් මීට පෙර 1994, 1995, 1997, 1999, 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2014, 2015 සහ 2016 වසරවලදී මෙම ශූරතා දිනා ගත්හ.
මෙවර ශූරතාව හිමිකර ගැනීමට ඔවුන් සමත් වූයේ දෙවන වටයේදී විශිෂ්ට දස්කම් දක්වමිනි. පළමු වටය නිමාවන විට ඔවුන්ට හිමි වී තිබුණේ තෙවැනි ස්ථානයයි. එමෙන්ම එහිදී තරග දෙකකුත් ඔවුහු පරාජය වූහ.
මෙවර වැඩිම ට්‍රයි හෙවත් උත්සාහක දිනුම් ගණනක් (16) රැස් කර ගත් ධනුෂ්ක රංජන්ගේ විශිෂ්ට දස්කම් තවදුරටත් ලීග් ශූරතාව රැක ගැනීමට ඔවුන්ට ඉවහල් විය.


කණ්ඩා යමේ ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් ලෙසට ෆසිල් මරිජා, නායක රොෂාන් වීරරත්න, ගයාන් වීරරත්න, කිෂෝර් ජෙහාන්, රිචඩ් ධර්මපාල, ශෂික ජයවර්ධන, නයිජල් රත්වත්ත සුපුරුදු පරිදි මෙවරත් දස්කම් දැක්වුහ. මීට අමතරව ධනුෂ්ක රංජන්, තිළිණ විජේසිංහ, ෂෙහාන් පතිරණ, විශ්වමිත්‍ර ජයසිංහ, බුවනක උඩන්ගමුව සහ ගයාන් රත්නායක ද මහනුවර ජයග්‍රහණයට විශාල දායකත්වයක් සැපයූහ. මෙවර මහනුවර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු වූයේ ෂෝන් විජේසිංහය.