බන්ඩි පොහොර භාවිතය අනිවාර්ය කෙරේ | සිළුමිණ

බන්ඩි පොහොර භාවිතය අනිවාර්ය කෙරේ

ගොයමෙහි පෝෂණය ඌණතා ඇති විය හැකි බැවින් මේ වනවිට බන්ඩි පොහොර යෙදිය යුතු මට්‌ටමේ පවතින ගොයමට බන්ඩි පොහොර හෙවත් MOP පොහොර අනිවාර්යයෙන්ම නියමිත පරිදි යෙදීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලුම ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.
 
දැනට අවශ්‍ය තරම් MOP පොහොර ‌ තොග රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව පවතී.  නමුත් තවමත්  බොහෝ ගොවීන් MOP පොහොර අවශ්‍ය පරිදි ලබා ගැනීමට  කටයුතු කර නැත. මේ වනවිට  දිනකට MOP පොහොර මෙට්‍රික් ටොන් 150ක් බැගින් අලෙවි වන අතර ඉදිරි දින කිහිපය තුළ එහි වර්ධනයක් සිදුවිය හැකි යැයි ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම අවධාරණය කරයි.
 
පසුගිය මහ කන්නයේ දී ගොවීන් විසින් MOP පොහොර පොහොර යොදා ඇත්තේ සියයට 06ක් තරම් සුලු ප්‍රමාණයකි. මෙම පොහොර නොයෙදීම නිසා පසුගිය මහ කන්නයේ ගොයම් කහවීමේ තත්ත්වයක් ද වාර්තා විය. එම තත්ත්වය කිසිසේත්ම රෝගී තත්ත්වයක් නොවන අතර MOP පොහොර  නොයෙදීම නිසා ගොයමෙහි  පෝෂණ තත්ත්වය ඌණවීමකි. MOP පොහොර යෙදීම නිර්දේශ කළ පසු බොහෝ ගොවීන්ට එම ගොයම කහවීමේ තත්ත්වය පාලනය කර ගත හැකි විය.
 
MOP පොහොර පසුගිය මහ කන්නයේ රාජ්‍ය අංශයෙන් අලෙවි කරන ලද්දේ කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 19,500කටය. නමුත් මෙවර යල කන්නයේ දී MOP පොහොර මිටියක මිල රුපියල් 4500කින් අඩු කිරීමට රජය පියවර ගන්නා ලද්දේ වී වගාවට අවශ්‍ය MOP පොහොර පහසු මිලකට ලබා දීමට බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.  ඒ අනුව වර්තමානයේ  MOP පොහොර මිටියක මිල රුපියල් 15,000ක් වශයෙන් ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් අලෙවි කරනු ලබයි.
 
පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාරයක් වශයෙන් රජය විසින් ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් බැගින් වවුචරයක් මගින් ලබා දීම ද  සිදු කළේය.
 
එම මුදල් යොදාගනිමින් හෝ MOP පොහොර මිල දී ගැනීම සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී. අස්වනු ඉහළ නැංවීමට නම් MOP පොහොර අනිවාර්යයෙන්ම යෙදිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Comments